Saturday, August 16, 2014

සිංහල ගී පද



මෙවරද තරුණයා පත්තෙරේ සමග පළවුණ ආත්මීය සැමරුම අතිරේකයෙන් උපුටාගන්නා ලද්දක් ඔබ සමග බෙදාගැනීමට සිතුවා ...

සුරම්‍යා පාසල් සමයේ සිටම මාධ්‍ය ක්ෂේත්‍රය කෙරෙහි අසීමිත ඇල්මක් දැක්වුවා . ඒ නිසාම ඇය පාසල් කාලයේදීම ගුවන් විදුලි සංස්ථාව හා සම්බන්දව කටයුතු කරනවා . මේ කටයුතු අඛණ්ඩව සිදුකරගෙන යන අතරේ උසස් පෙළ විභාගයත් අවසන් වුනා .ඒත් ඇය මාධ්‍ය ක්ෂේත්‍රය තුලමයි තමුන්ගේ අනාගතය හදාගත්තේ . එහි එක පියවරක් ලෙස ඇය කොළඹ විශ්වවිද්‍යාලයේ ජනමාධ්‍ය ඩිප්ලෝමාව හැදෑරීම සදහා ඇතුලත් වෙනවා .

සුරම්‍යා කොළඹ විශ්වවිද්‍යාලයේ ජනමාධ්‍ය ඩිප්ලෝමාව හදාරන අතරතුර තමයි මේ සිදුවීම වුනේ .දවසක් දා ඇය ශාස්ත්‍ර පීටයේ කොරිඩෝවේ හිටගෙන හිටියා.ඒ අවට සිරි නරබමින් .කොළඹ විශ්වවිද්‍යාලයේ පරිසරය ඉතාම ප්‍රියජනකයි. විශ්වවිද්‍යාල භුමිය පුරාම විශාල ගස් . ඒ අතරින් වැඩි ප්‍රමාණයක් රෝබාරෝසියා , ඇහැළ , හා මැයි . මේ හැම ගහකම මල් පිපිලා වෙනස්ම සිරියක් ගෙනෙනවා.ඒ විතරක් නෙමෙයි ඒ අවට පරිසරයේ තිබෙන සිසිලස උද්‍යානයකට ඇතුලත් වුනා වගේ හැගීමක් තමයි ගෙන එන්නේ .සුරම්‍යා මේ මිහිර විදිමින් සිටින අතර විශ්වවිද්‍යාල භූමියට පැමිණෙන මාර්ගයෙන් පෙම්වතුන් යුවලක් ඇවිදගෙන එනවා . හැබැයි අනෙක් පෙම්වතුන්ට වඩා මේ දෙන්නා ටිකක් විශේෂයි .ඒකට හේතුව තමයි අර මල් වැටුන පාරේ මේ පෙම්වතුන් යුවල එන්නේ බොහොම පරිස්සමට .ඒ කියන්නේ අර පෙම්වතිය බිම වැටිලා තියෙන මල් නොපෑගෙන විදියට එන්න උත්සහ කරනවා . එක මලක් හෝ නොපැගී එන්නයි ඇගේ උත්සාහය .තමන්ගේ පෙම්වතිය කරන මේ වැඩේට මේ පෙම්වතාගෙන් ලැබෙන්නෙත් හොද සහයෝගයක් .  ඒ දෙන්නගේ මේ ක්‍රියාව දිහා බලාගෙන ඉන්න ඕනෑම කෙනෙක්ට හිතෙනවා ප්‍රේමය කොයිතරම් සුන්දරද කියලා.

ඒ සුන්දරත්වය තුලින්ම සුරම්‍යා යථාර්තයක් දකිනවා . ඒ තමයි සරසවි ප්‍රේමය බොහෝ විට උපාධිය ලබාගැනීමත් සමග කෙලවර වීම . බොහෝ පෙම්වතුන් සරසවිය තුලම ඒ ආදරය දාල යනවා . මෙවැනි පෙම්වතුන්ට වැඩිපුරම සිදුවෙන්නේ ඒ දේ . ඉතින් රොබරෝසියා මල් නොපෑගී යන්න තමුන්ගේ පෙම්වතියට උදව් කරන මේ පෙම්වතාම තමා  ඇය හැර යන්නේ . මේ යථාර්තවාදී කතාන්දරය සුරම්‍යා එදා දකිනවා . ඒ ..... මේ දගකාර පෙම් යුවල තුලින්මයි . ඒ කතාවත් බොහෝ සරසවි ප්‍රේම කතා ගැනත් සුරම්‍යා ගීතයක් ලියනවා ..ඒ මෙන්න මේ විදියට ..


රොබරෝසියා මල් යායට හැලිලා
අප ආ පාරේ පාවඩ එලලා
මල් පාගාගෙන යන්න හිතක් නෑ
සොඳුරු අතීතය අමතක කරලා

ගිනියම් අව්වේ මල් පූදිනවා
සැනෙකින් සුළගට හසුවෙනවා
පෙර පෙම් බැදී අය  අද ලග නෑ
සරසවියෙන් මං සමුගෙන යනවා

සරසවියට හෙට එන මිතුරන්නේ
වසන්තයට යලි මල් පූදින්නේ
අප හැම මේ බිම හැරදා යන්නේ
රොබරෝසියා මල් නෑ එය දන්නේ

ගායානය - ඉමාල් පෙරේරා
පද රචනය - සුරම්‍යා මාපිටිය
සංගීතය - නන්දසේන කටුවාවල